• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) සපුරා ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීම
- 2015 සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 193ක් විසින් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය අනුමත කරන ලදී. එමඟින් හඳුන්වා දී ඇති තිරසර සංවර්ධන ඉලක්ක 17න් වැඩි සංඛ්‍යාවක් සපුරාගැනීම සඳහ‍ා අභියෝග පවතින බව 2020 වර්ෂය සඳහා වන ලෝක තිරසර සංවර්ධන වාර්තාව පෙන්වා දී ඇත. මෙම තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ එකඟත්වය මත විදේශ ඇමතිතුමා විසින් ක්‍රියාකාරි කණ්ඩායමක් පත් කර ඇති අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා ඉහළ දේශපාලන නායකත්වයක් පැවතීමේ අවශ්‍යතාව එම කමිටුව විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීමට සහ මඟපෙන්වීමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අදාළ අමාත්‍යවරුන්/රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.