• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල් ආශ්‍රිත කර්මාන්ත පද්ධතිය සංවර්ධනය කරමින් දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලාංකීය පොල්තෙල් සන්නාමය ආරක්ෂා කිරීම
- ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සඳහා වැඩි අවධානයක් යොමු කළහොත් නිෂ්පාදනය 50%කින් වැඩි කර ගත හැකි බව එම ක්ෂේත්‍ර‍ෙය් නිරතවන්නන් හා ප්‍රවීණයන් විසින් පෙන්වා දී ඇත. පාරිභෝගික අධිකාරිය විසින් සිදු කර ඇති පරීක්ෂා කිරිම්වලදී පරිභෝජනය සඳහා මෙරටට ආනයනය කරනු ලබන පොල් තෙල්වල 70%ක් පමණ පොල් තෙල් නොවන වෙනත් තෙල් වර්ග අඩංගු බව තහවුරු වී තිබේ. රට තුළ නිෂ්පාදනය වන පොල් ගෙඩි සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දැනට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා 500ක පමණ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා අපනයන ආදායම 2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේදී 16.6%කින් වර්ධනය වී ඇති බැවින්, රජයේ අනුග්‍රහය යටතේ පොල් කර්මාන්තයේ නව ප්‍රවණතාවක් නිර්මාණය කිරීමට හැකියාවක් පවතින බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, පොල් ආශ්‍රිත කර්මාන්ත පද්ධතිය සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් කර්මාන්ත අමාත්‍යතුමා සහ වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ පහත සඳහන් ඒකාබද්ධ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම පිණිස මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීම.

* කුරුට්ට සහිත කැබලි කරන ලද වියළි පොල් මද ආනයනය කිරීම රජය සතු ආයතනයක් වන බී.සී.සී. ආයතනය මඟින් සිදු කිරීම.

* පාරිභෝගික අයිතිය සහ ශ්‍රී ලාංකීය පොල් තෙල් සන්නාමය ආරක්ෂා කිරීම මුල් කර ගෙන පොල් තෙල්වලට පාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග මිශ්‍ර කොට අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම.

* රට තුළ පාම් තෙල් පරිභෝජනය අධෛර්යමත් කොට පොල් තෙල් ප්‍රචලිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තියක් බව පිළිගැනීම සහ පාරිභෝගික අයිතිය සහ මහජන සෞඛ්‍ය හේතු මත පිරිපහදු කළ පාම් තෙල් පමණක් ආනයනය කිරීමට අවසර දීම.

* පොල් කර්මාන්තකරුවන් ලබා ගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම සඳහා සහන සලසා දීම.

* පොල් වගාව දිරිමත් කිරීම සඳහා යටි වගා, කිරි ගොවිතැන සහ ජලසම්පාදනය වැනි පොල් වගාවේ ඵලදායීතාව වර්ධනය කිරීම පිණිස වන සහන පැකේජයන් හඳුන්වා දීම.

* මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා අදාළ අමාත්‍යාංශය සහ ආයතන නියෝජනය කරමින් අන්තර් අමාත්‍යාංශ කාර්යසාධක බලකායක් පිහිටුවීම.