• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් (Overall Kit) ලබා දීම
- ඉහළ වෙ‍ෙළඳ පොළ ඉල්ලුමක් සහිත ක්ෂේත්‍රයන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් වාර්ෂිකව ඇතුළත් කර ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 100,000 සිට 200,000 දක්වා ඉහළ නැංවීම මඟින් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා 2021 අයවැය මඟින් සැලකිය යුතු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර දී ඇත. දැනට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩහල් (Workshop) සහ ඉදිකිරීම් ආශ්‍රිතව පුහුණුව ලබා දීම සඳහා ආයතන 09ක් ක්‍රියාත්මක වේ. එම ආයතන යටතේ දැනට 30,000කට ආසන්න පිරිසක් පුහුණුව ලබන අතර, 2021 වර්ෂයේ බඳවාගැනීම් සමඟ එම ප්‍රමාණය 40,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පුහුණුවීම්වලදී පුහුණු වන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සාම්ප්‍රදායික වැඩකරුවකුට වඩා නව්‍යාකාරයේ වෘත්තීය ශිල්පියෙකු වශයෙන් අදාළ පුහුණුවේ නියැළීමටත් හැකිවන පරිදි පුහුණු වන්නන් සඳහා ඇඳුම් කට්ටලය බැගින් ලබා දීමට සැලසුම් කර ඇත. ඒ අනුව, 2021 ජනවාරි මස සිට වෘත්තීය අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන, වැඩහල් ආශ්‍රිතව පුහුණුව ලබන සිසුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් බැගින් ලබා දීමටත්, එකී ඇඳුම් කට්ටල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ "රණවිරු ඇපරල් ආයතන‍ය" වෙතින් ඇණවුම් කර නිෂ්පාදනය කරවා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.