• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කිරීම
- 1984 සහ 1986 යන වර්ෂයන්වලදී විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත සංශෝධනය කර ඇති නමුත් එහි සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු විසින් පෙන්වා දී ඇත. විශේෂයෙන්ම වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින ඇතැම් මත්ද්‍රව්‍යයන් මෙම පනතින් ආවරණය නොවීමත්, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන්, නොදැනුවත්ව එවැනි කටයුතු සඳහා දායක වන්නන් සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන්නන් යන සියලු දෙනා සඳහාම සමාන අයුරින් දඩුවම් පැමිණවීම සඳහා වන විධිවිධාන මෙම පනතේ ඇතුළත් වී තිබීම පිළිබඳව යළි සලකා බැලීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් එම ආඥාපනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස ආගමික නායකයින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ආරක්ෂක අංශ සාමාජිකයින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් මෙහෙයවන්නන් ඇතුළු පාර්ශ්වයන් නියෝජනය වන අයුරින් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ පදනම් කරගෙන එකී ආඥාපනත සංශෝධනය කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.