• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෙද විද්‍යාල හා ගුරු අභ්‍යාස විද්‍යාල විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීම උදෙසා විශේෂ කාර්යයන් අරමුණු කර ගනිමින් මෙරට විශ්වවිද්‍යාලයන් පිහිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
- "රට හදන සෞභාග්‍යයේ දැක්ම" රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ මානව සම්පත් සංවර්ධනය මඟින් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා හෙද වෘත්තීයේ සහ ගුරු වෘත්තීයේ ගුණාත්මක බව වැඩි කරමින් ඉහළ වෘත්තීය පිළිගැනීමක් හා වෘත්තීය නිපුණතාවක් සහිත ගෝලීය වශයෙන් තරගකාරී වෘත්තිකයන් බිහි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. වර්තමානයේ ගෝලීය තරගකාරී රැකියා වෙළඳපොළෙහි ඉහළ ඉල්ලුමක් හෙද වෘත්තිකයින් සහ ගුරු වෘත්තිකයින් සඳහා පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය හා නියාමනය යටතේ ක්‍රියාත්මක වන හෙද විද්‍යාලයන්හි සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ගුරු වෘත්තීකයින් බිහි කිරීම සඳහා ක්‍රියාත්මක වන ගුරු අභ්‍යාස විද්‍යාලයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා වෙන් වූ විශ්වවිද්‍යාල 2ක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල ආකෘතියෙන් වෙනස්ව විශේෂ කාර්යයන් අරමුණු කරගත් විශ්වවිද්‍යාල වශයෙන් යෝජිත විශ්වවිද්‍යාල දෙක ස්ථාපිත කිරීමට හැකිවන පරිදි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.