• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"වාරි සෞභාග්‍යා" කඩිනම් වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන
- දිවයින පුරා විසිරි තිබෙන 50,000කට ආසන්න ග්‍රාමීය කුඩා වැව්, අමුණු, වාරි ඇළ පද්ධති, එල්ලංගා පද්ධති නඩත්තු කිරීම සඳහා නිශ්චිත මූල්‍ය ප්‍රභවයක් නොමැතිවීම හේතුවෙන් ඒවා නඩත්තු කිරීම ගැටලු සහගත වී ඇත. ඒ හේතුවෙන් සෑම වර්ෂයකම මෝසම් වර්ෂා සමය අවසන් වන විට දළ වශයෙන් ග්‍රාමීය වාරි පද්ධති 1,000ක් පමණ කැඩි බිඳීම්යාම්වලට ලක් වන බවත්, ඒ හේතුවෙන් වගා කළ හැකි දිවයින පුරා පිහිටි අක්කර 150,000ක් පමණ දැනට පුරන් කුඹුරු තත්ත්වයට පත් වී ඇති බවත් නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ මග පෙන්වීම යටතේ ග්‍රාමීය කුඩා වාරි හා පානීය ජල පද්ධතීන් 5,000ක් යළි සක්‍රීය කිරීම පිණිස "වාරි සෞභාග්‍යා" නමින් වසර දෙකක කඩිනම් වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත. යෝජිත වැඩසටහන කොන්ත්‍රාත් ක්‍රමවේදයෙන් බැහැරව රජය සතු මානව සම්පත් හා යන්ත්‍රෝපකරණ භාවිත කරමින්, ග්‍රාමීය මට්ටමේ ආගමික නායකත්වයන්, ගොවි ප්‍රජාව, පාසල් පද්ධතිය, තරුණ ප්‍රජාව මෙන්ම, පෞද්ගලික අංශයේ ද සහභාගිත්වයෙන් යුතුව හැකිතාක් දුරට ග්‍රාමීය ගොවිජනතාව වෙතින් දෛනික ගෙවීම් පදනම් මත අවශ්‍ය ශ්‍රමය සලසා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, 2021 පෙබරවාරි මස 04 වන දින වැව් 1,000ක් ආශ්‍රිතව එම වැඩසටහන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවට වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.