• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම
- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් යන ආයතනවල හිමිකාරිත්වය පවතින සිනො ලංකා පුද්ගලික සමාගම යටතේ ග්‍රෑන්ඩ් හයාට් හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඉදිකිරීම් කටයුතු නිම කර මෙම හෝටලයේ ව්‍යාපාර කටයුතු 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත්, 2015 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද සිනො ලංකා පුද්ගලික සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙර පැවති රජය විසින් අත්සන් කරන ලද බොහොමයක් ගිවිසුම් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කර එම වැඩ කොටස් සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹ ඇත. ඒ හේතුවෙන් ඇතැම් ආයතන විසින් අධිකරණමය ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇති අතර රුපියල් බිලියන 1.8කට ආසන්න මුදලක් සිනො ලංකා පුද්ගලික සමාගම විසින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට තීරණය වී ඇත. මූලික සැලසුම් අනුව රුපියල් බිලියන 30ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිම කිරීමට තිබූ මෙම ව්‍යාපෘතියේ වර්තමාන පිරිවැය රුපියල් බිලියන 60ක් පමණ වනු ඇති බවට නැවත ඇස්තමේන්තුගත කර ඇත. සිනො ලංකා පුද්ගලික සමාගමේ පසුගිය පාලන අධිකාරිය විසින් සිදු කර ඇති අක්‍රමිකතා හේතුවෙන් එම තත්ත්වය පැන නැගී ඇති බව පෙනී යන බැවින් එමඟින් රජයට මූල්‍ය පාඩුවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.