• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේරස් ගඟ වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහන සැලසීම
- කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම, පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම, තෙත් බිම් සංරක්ෂණය, අභයභූමි ආරක්ෂා කිරීම සහ ඇළ මාර්ග පද්ධතිය පුළුල් කිරීම ආදී කටයුතු අරමුණු කර ගනිමින් වේරස් ගඟ වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් 2013 වර්ෂයේදී ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන ගොඩනැගිලි හා නිර්මිතයන් සඳහා වන තක්සේරු දෙපාර්තමේන්තුවේ නිර්දේශිත මුදලින් 80%ක් ගෙවීමටත්, ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු නිවාසවල පදිංචි වූවන්ට මාස 06ක කාලයක් සඳහා තාවකාලික නිවාස පහසුකම් සපයා ගැනීම සඳහා නිවාස කුලී ගෙවීමටත් කටයුතු කර ඇත. මේ වන විට ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් අත් කරගෙන ඇති අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව ඇත.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් මුහුණ දෙන සමාජ හා ආර්ථික ගැටලු අවම කිරීමේ අරමුණින්, ඔවුන්ට ලබා දෙන ව්‍යවස්ථාපිත වන්දි මුදල් ගෙවීම නොවැළැක්විය හැකි කරුණු හේතුවෙන් මාස 06කට වඩා ප්‍රමාද වන අවස්ථාවක එම වන්දි මුදල් ගෙවන තෙක් අමතර කාලයක් සඳහා තාවකාලික නිවාසවල පදිංචි වීම සඳහා ගෙවනු ලබන ගෙවල් කුලී මුදල තවදුරටත් ගෙවීමටත්, සම්පූර්ණයෙන් ඉවත් වන නිවාස ගොඩනැඟිලි ඉදි කිරීම හා නිර්මිතයන් සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිර්දේශිත සමස්ත ඇස්තමේන්තුගත මුදලින් 100%ක් එම පවුල්වලට ගෙවීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.