• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා විදුලි වැට හා ආරක්ෂිත වැට සකස් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලද රේල් පීලි ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 19 ක් තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක දැනට අලි - මිනිස් ගැටුම් වාර්තා වේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරනු ලබන විවිධ උපායමාර්ග අතුරින් ආරක්ෂිත වැටවල් හා විදුලි වැටවල් ඉදි කිරීම ප්‍රධාන වේ. මේ වන විට විදුලි වැට කිලෝ මීටර 4,500 ක් පමණ ඉහත කී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133 හි ඉදි කරනු ලැබ ඇති අතර තවත් කිලෝ මීටර 1,500 ක පමණ විදුලි වැටවල්ද, ආරක්ෂිත වැට සහිත වන අලි රැඳවුම් මධ්‍යස්ථානද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැටවල් ඉදි කිරීම සඳහා දැනට දැව කණු යොදා ගනු ලැබූවද වන අලින් විසින් ඒවා නිතර පෙරළා දමනු ලබන අතර, මේ සඳහා කොන්ක්‍රීට් කණු යොදා ගැනීමද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අපහසුතා නිසා ප්‍රායෝගික නොවේ.

ඒ අනුව, එම කාර්යයන් සඳහා විකල්ප විසඳුමක් වශයෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි යොදා ගැනීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොමිලේ ලබා ගැනීම පිණිස වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා සහ ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.