• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රූපවාහිනී සේවා සහ ගුවන්විදුලි මාධ්‍ය භාවිතයෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීම
- COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල ඉගැන්වීම් කටයුතු නියමිත පරිදි සිදු කිරීමට පැන නැගුන අපහසුතා සැලකිල්ලට ගෙන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ රූපවාහිනී සේවා සහ ගුවන්විදුලි මාධ්‍ය භාවිතයෙන් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීම සඳහා "අයි නාලිකාව" සහ "නේත්‍රා නාලිකාව" යොදා ගැනීමට මින් පෙර අමාත්‍ය මණ්ඩල‍ය විසින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට COVID-19 වසංගත තත්ත්වය නැවත රට තුළ මතු වීම මත නියමිත පරිදි පාසල් ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන අතර අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත විකල්ප දුරස්ථ අධ්‍යාපන ක්‍රම අත්‍යාවශ්‍ය බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, 3 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර විකාශය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව රජයේ හා පෞද්ගලික රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල සහයෝගය ඇතිව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.