• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන

-විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2020 සැප්තැම්බර් මස 02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය ද සැලකිල්ලට ගනිමින් පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලි‍මේන්තුවේ කාරක සභා අදියරේ දී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා අධිකරණ ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව, එකී යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

තවද, පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන විධිවිධානයන්ද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු බවට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කරන ලදී.

* ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ වල පවතින අධික නඩු සංඛ්‍යාව සැලකිල්ලට ගෙන එම අධිකරණයන්හි විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා වන විධිවිධාන.

* ජාතික ආරක්ෂාව හා ආපදා අවස්ථාවලදී පැන නැගෙන කරුණුවලට අදාළ පනත් පමණක් හදිසි පනත් සේ සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ විධිවිධාන.

* රාජ්‍ය සංස්ථාවක් වන හෝ රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් කොටස්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් දරනු ලබන සමාගම් විගණනය කිරීමේ බලතල විගණකාධිපතිවරයාට පැවරෙන පරිදි විධිවිධාන.

* අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව, අමාත්‍ය මණ්ඩලයේ නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කිරීමට අදාළව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් විධිවිධාන එලෙසම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීම.