• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වරක් භාවිත කර ඉවතලන (Single - Use) ප්ලාස්ටික් සහ ‍ෙපාලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණය

-ශ්‍රී ලංකාව තුළ පොලිතීන් හා ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර හානිය අවම කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් නිෂ්පාදනය තහනම් කිරීම, පොලිතීන්වලින් ආහාර දවටන නිෂ්පාදනය තහනම් කිරීම සහ පොලිතීන් විවෘත භූමියේ දහනය තහනම් කිරීම යනාදී රෙගුලාසි පනවා ඇති අතර, එකී රෙගුලාසි ක්‍රියාත්මක කරන අතරම භාවිතයේ තහනම් කරන ලද පොලිතීන් වෙනුවට වෙනත් විකල්පයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.

පොලිතීන් හා ප්ලාස්ටික් කළමනාකරණය පිළිබඳව වන පාර්ශ්වකාර ආයතන සමඟ පවත්වන ලද සාකච්ඡාවල එකඟතාව අනුව එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ අරමුණින් පහත සඳහන් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයන් 2021 ජනවාරි මස 01 දින සිට තහනම් කිරීමටත්, ඒ වෙනුවට වෙනත් විකල්පයන් හඳුන්වාදීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* Poly Ethylene Terephthalate (PET) හා Poly Vinyl Chloride (PVC) ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් කිරීම හා විකල්පයක් ලෙස වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත ඇසුරුම් භාවිත කිරීම.

* මිලි ලීටර් 20/ග්‍රෑම් 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ ඇසුරුම් තහනම් කිරීම (ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කිරීම් හැර) සහ විකල්පයක් ලෙස මිලි ලීටර් 100/ග්‍රෑම් 100 හෝ ඊට වැඩි ඇසුරුම් භාවිත කිරීම.

* ප්ලාස්ටික්වලින් සාදන ලද විවිධ හුළං පුරවන ලද සෙල්ලම් බඩු (Inflatable Toys) තහනම් කිරීම (බැලුන්, බෝල වර්ග හා දියමත පාවෙන සෙල්ලම් බඩු හැර) හා ඒ සඳහා විකල්පයක් ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත දෑ භාවිත කිරීම.

* ප්ලාස්ටික් කොට්න් බඩ් තහනම් කිරීම (සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර) හා විකල්පයක් ලෙස දිරාපත් වන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදිත කොට්න් බඩ් භාවිත කිරීම.

* සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන්හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනාගැනීම සඳහා 1-7 දක්වා වූ කේත සඳහන් කිරීම අනිවාර්යය කිරීම.