• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසලක එක් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව

-පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අනුව විදුහල්පතිවරුන් කටයුතු කරනු ලබයි. එසේම, ශිෂ්‍යත්ව විභාගයේ කුසලතා පදනම් කරගනිමින් ජාතික හා පළාත් පාසල්වල 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමත්, සාමාන්‍ය පෙළ සුදුසුකම් පදනම් කරගෙන උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමත් අදාළ විදුහල්පතිවරුන් විසින් සිදු කරනු ලබයි.

ඊට අමතරව 37/2008 සහ 33/2019 චක්‍රලේඛ පරිදි පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබයි. ඒ යටතේ ස්ථාන මාරුවීම් හේතුවෙන් පදිංචිය වෙනස්වීම්, විදේශගතව සිට පැමිණීම, පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අධිකරණ සේවයේ නියුක්ත විනිශ්චයකාරවරුන්, රජයේ විශේෂඥ වෛද්‍ය සහ රජයේ වෛද්‍ය නිලධාරින්, පාසල්වල සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයේ නියුක්ත වූවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විධායක නිලධාරින්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපනඥ සේවාවන්හි නිලධාරින් යන කණ්ඩායම් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට සුදුසුකම් ලබති.

එසේම ළමුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයට ලක්ව ඒ පිළිබඳව පැවති විමර්ශනවලදී සුදුසුකම් ලැබීම, විශේෂ අවශ්‍යතා ඇති සහ සමාජ සුබසාධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරුවන් වීම යන කාණ්ඩයන් ද අතරමැද පන්ති සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි.

එලෙස සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැලකිල්ලට ගෙන, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වන අයුරින් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සංශෝධනය කර වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.