• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

-2020 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීම සඳහා 2020 අගෝස්තු මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, 2020 මුදල් වර්ෂය සඳහා වන මුළු පුනරාවර්ථන වියදම රුපියල් බිලියන 2,692ක් හා මූලධන වියදම රුපියල් බිලියන 1,846ක් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇත. එකී ඇස්තමේන්තුගත ප්‍රතිපාදන තුළ පහත සඳහන් ප්‍රතිපාදනයන් ද ඇතුළත්ව තිබේ.

* මීට පෙර පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම් දෙක මඟින් වෙන් කරන ලද ප්‍රතිපාදන.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (3) වන අනුව්‍යවස්ථාව ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් අනුමත කරන ලද, 2020 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත වියදම් සඳහා වන ප්‍රතිපාදන.

* 2019 වර්ෂය සඳහා වියදම් කරනු ලැබ ඇති එහෙත් ගිණුම් ගත කර නොමැති රුපියල් බිලියන 211ක වියදම් ගිණුම්ගත කිරීම සඳහා වන ප්‍රතිපාදන.

ඒ අනුව, 2020 මුදල් වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.