• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 (COVID-19) වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා ආධාර ලබා දීමේ සහන ක්‍රියාමාර්ග දීර්ඝ කිරීම

-කොවිඩ්-19 (COVID-19) වසංගත තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි රුපියල් මිලියන 186ක ප්‍රතිපාදන වෙන් කිරීමට එම අධිකාරිය විසින් කටයුතු කර ඇති අතර, එම මුදලින් සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් සඳහා සහන ලබා දීමට පියවර ගෙන ඇත.

එකී සහනයන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පහත සඳහන් පුද්ගල කණ්ඩායම් වෙත ද ලබා දීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2020 08 31 දිනට සහන සඳහා ඉල්ලුම් කර ඇති, ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ හෝ වෙනත් සංචාරක සංගම් විසින් පුහුණු කරන ලද සංචාරක රියදුරන්/සංචාරක බස්රථ රියදුරන් සහ සහායකයින්/ටුක්-ටුක් ත්‍රීවීල් රථ රියදුරන් සහ සෆාරි රථ රියදුරන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 15,000/-ක මුදලක් ගෙවීම.

* පළාත් සභා විසින් පුහුණු කරන ලද සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නන් සඳහා එක් අයෙකුට එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 20,000/-ක මුදලක් ගෙවීම.