• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1934 අංක 19 දරන සේවක වන්දි ආඥාපනත (139 වන අධිකාරිය) සංශෝධනය කිරීම

-රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ "රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක්" යන තේමාව යටතේ 1934 අංක 19 දරන සේවක වන්දි ආඥාපනත සංශෝධනය කර හදිසි අනතුරකදී සේවකයින්ට හිමි විය යුතු වන්දි මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගන්නා බව සඳහන් වී ඇත.

ඒ අනුව, හදිසි අනතුරුවලින් හානියට පත් වන සේවකයින්ට ගෙවනු ලබන වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරීම සඳහා සේවක වන්දි ආඥාපනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත පහත සඳහන් හේතූන් මත තවදුරටත් සංශෝධනය විය යුතු බව නිරීක්ෂණය වී ඇත.

* සේවක වන්දි ආඥාපනතේ 42 වන වගන්තිය යටතේ සේවකයෙකුට සිදුවන අනතුරක් සම්බන්ධයෙන් සේවා යෝජකයින් විසින් වන්දි කොමසාරිස් වෙත වන්දි ප්‍රකාශය ඉදිරිපත් ‍කරනු නොලබන අවස්ථාවන්හිදී දැනට පවතින විධිවිධාන අනුව පැනවිය හැකි රුපියල් 1,000ක් වන දඩ මුදල ඉහළ නැංවීම.

* වන්දි ප්‍රමාණයන් දැක්වෙන සේවක වන්දි ආඥාපනතේ 4 වන උප‍ලේඛනය වර්තමානයට ගැලපෙන පරිදි පහත සඳහන් අයුරින් සංශෝධනය කිරීම:

i දැනට පවත්නා රුපියල් 0 සිට රුපියල් 2,500/- දක්වා වන වන්දි ගෙවීම සඳහා අදාළ කර ගන්නා අවම මාසික වැටුප රුපියල් 0 සිට රුපියල් 10,000/- දක්වා ඉහළ නැංවීම.

ii දැනට රුපියල් 20,001/- සිට ඉහළට පවත්නා වන්දි ගෙවීම සඳහා අදාළ කර ගන්නා උපරිම මාසික වැටුප රුපියල් 100,000/- සිට ඉහළට ලෙස සංශෝධනය කිරීම.

iii දැනට රුපියල් 181,665/- සිට 550,000/- දක්වා වන මරණයකදී ගෙවන වන්දි ප්‍රමාණය (වැටුප පදනම් කරගෙන) රුපියල් 1,140,000/- සිට රුපියල් 2,000,000/- දක්වා ඉහළ නැංවීම.

iv දැනට රුපියල් 196,083.80 සිට රුපියල් 550,000/- දක්වා වන නිත්‍ය පූර්ණ බෙලහීනතාවකදී ගෙවනු ලබන වන්දි ප්‍රමාණය (වැටුප පදනම් කරගෙන) රුපියල් 1,200,000/- සිට රුපියල් 2,000,000/- දක්වා ඉහළ නැංවීම.

v දැනට රුපියල් 1,320/- සිට රුපියල් 5,500/- දක්වා වන තාවකාලික බෙලහීනතාවකදී ගෙවනු ලබන වන්දි ප්‍රමාණය (අර්ධ මාසික වැටුප පදනම් කරගෙන) රුපියල් 5,000/- සිට රුපියල් 47,500/- දක්වා ඉහළ නැංවීම.

* වන්දි අයකර ගැනීමේ කාර්ය පරිපාටිය කඩිනම් කිරීම සඳහා වන්දි කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත පිස්කල් / ලේඛකාධිකාරි මඟින් දේපල රාජසන්තක කර වන්දි අයකර ගැනීමේ කාර්යය ඉටුකර ගැනීම.

* කම්කරු වන්දි රක්ෂණ යෝජනා ක්‍රමයක් අලුතින් හඳුන්වා දීම.

ඒ අනුව, ඉහතින් දැක්වෙන සංශෝධනයන් ද ඇතුළත් කිරීමට හැකි වන පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනට සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.