• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂ ඒකකයක් අධිකරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය තුළ සිදු වන ප්‍රමාදයන් හේතුවෙන් ඒ සඳහා මැදිහත් වන පුද්ගලයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද විශාල බලපෑමක් සිදු වන බව පැහැදිලි කරුණකි. 2016 වර්ෂයේදී ජාතික නීති සම්මේලන කමිටුව විසින් නඩු ප්‍රමාදයන්ට හේතු වන විවිධ ගැටලු, ඒ හේතුවෙන් සිදු වන අයහපත් ප්‍රතිඵල සහ ඒ සඳහා යෝජිත විසඳුම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. 2019 වර්ෂය අවසානයේදී රටේ සියලුම අධිකරණවල අවසන් නොවූ නඩු 766,784ක් පැවති අතර, එම තත්ත්වයට කඩිනමින් පිළියම් යෙදීම අත්‍යවශ්‍ය ය.

නඩු ප්‍රමාදයන්ට හේතුවන ගැටලු විසඳීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, නීති ප්‍රතිසංස්කරණය, අධිකරණ ස්වයංක්‍රීයකරණය හා ධාරිතා සංවර්ධනය යන සංරචක ඔස්සේ අවශ්‍ය පියවරයන් ගත යුතු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නීති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ දායකත්වය ලබා ගනිමින් වසර 3ක කාලයක් තුළ අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.