• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීම
- රට තුළ ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ ප්‍රථම රැස්වීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020-08-31 දින පවත්වන ලදී. ඒ අනුව, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බවට තහවුරු කරගැනීම සහ ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීම නියාමනය පිණිස පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වන එකී අනුකාරක සභා රැස්වීමේදී එළඹි තීරණ වෙළෙඳ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එකී තීරණ පරිදි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

* ජීවන වියදම අඩු කිරීම පිළිබඳව කටයුතු කිරීමේදී එම ගැටලුව දැඩි ලෙස බලපාන කාණ්ඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම.

* ගොවීන් වගාවට නැඹුරු කිරීමට හැකිවන පරිදි ස්ථාවර දේශීය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම හා ඒ අනුව, ආනයනයන් අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කිරීම.

* අතරමැදියාගේ බලපෑම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යන බැවින් ගොවියාගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දෙමින් පාරිභෝගිකයා හට සාධාරණ මිලකට භාණ්ඩ ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

* දේශීයව වගා කළ හැකි ඉහළ ගුණත්වයෙන් යුත් බීජ වර්ගවල හිඟයට පිළියමක් වශයෙන් හා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින දේශීය බීජ වර්ග සංරක්ෂණය කිරීම සඳහා බීජ බැංකුවක් පිහිටුවීම.

* එළවළු හා පළතුරු වැනි නිෂ්පාදනවල මිල නියාමනය කරමින් දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත කාර්යක්ෂම ලෙස බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.

* ඒ අනුව, ගොවීයාගේ නිෂ්පාදන සෘජුවම මිල දී ගෙන නගරයන්හි ජනාකීර්ණ ස්ථානවල අලෙවි කිරීම සඳහා වැවිලි අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල මූලිකත්වයෙන් වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.

* දේශීය වශයෙන් වගා කළ හැකි අතිරේක භෝග වගාව කෙරෙහි ගොවීන් මේ වන විට විශාල වශයෙන් නැඹුරු වී ඇති බැවින් එවැනි භෝග ආනයනය අත්හිටුවීම හා වෙනත් ආවේණික දේශීය එළවළු වර්ග නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ආනයනය කළ යුතු භෝග වර්ග සඳහා දේශීය වශයෙන් ආදේශ කළ හැකි භෝග ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාව ලබා දීම.

* මහ කන්නයේ වී අස්වැන්න වෙ‍ෙළඳපොළට ලැබෙන තෙක් සහල් මිල ඉහළ නොයන පරිදි ආරක්ෂිත තොග පවත්වාගෙන යමින්, රජය විසින් නියම කර ඇති සහතික මිලට වෙළඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බවට තහවුරු කර ගැනීම.

* කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, විශේෂයෙන්ම බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම නවතා ඇති බැවින් බඩ ඉරිඟු මිල ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් තාවකාලිකව ආනයන බලපත්‍ර මත තිරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව, රට තුළ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉඩම්, බීජ, පොහොර සහ අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා යෝග්‍ය වැඩ පිළිවෙලක් අදාළ වගකිව යුතු ආයතන විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

* පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මාළු මිල දී ගැනීමට හැකි වන පරිදි ධීවර සංස්ථාව විසින් සිය අලෙවිසැල් ප්‍රමාණය වැඩි කළ යුතු අතර, අලුතින් විවෘත කිරීමට සැලසුම් කර ඇති අලෙවිසැල් 40 කඩිනමින් විවෘත කිරීම.

* දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණික දැනුම කිරි ගොවීන්ට ලබා දීම සඳහා වැඩ පිළිවෙක් ක්‍රියාත්මක කිරීම.

* වෙ‍ෙළඳපොළේ පොල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට පොල් මිල දී ගැනීමට හැකි වන පරිදි වැවිලි අමාත්‍යාංශය විසින් ජනාකීර්ණ නගරවලදී පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.