• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවකයින් සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා අදාළ කම්කරු නීති සංශෝධනය කිරීම
- අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතිමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට හැකිවන අයුරින් අදාළ කම්කරු නීති සංශෝධනය කිරීම පිණිස 2020 ජුනි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පහත සඳහන් පනත් හා නියෝග සංශෝධනය කිරීම පිණිස වන කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇත.

* 1954 අංක 19 දරන (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේව්‍ය හා වේතන විධිමත් කිරීමේ) පනත

* 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත

* (135 අධිකාරිය වූ) අවම වේතන (ඉන්දියානු කම්කරු) ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත

* 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත

* 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව 1958-10-31 දිනැතිව අංක 11573 දරන රජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් ප්‍රකාශයට පත් කරන ලද නියෝග

ඒ අනුව, එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රකාශයට පත් කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.