• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
- ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනතේ විධිවිධාන අනුව, අවුරුදු 14ට අඩු තැනැත්තෙකු ළමයෙකු වශයෙන් අර්ථ නිරූපණය කර ඇත. එහෙත්, තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනතට අනුව, අවුරුදු 16 - 22ත් අතර තැනැත්තන් තරුණ තැනැත්තන් වශයෙන් සඳහන් කර ඇත. තවද, වයස අවුරුදු 16ට අඩු ළමුන් විසින් සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් අධිකරණය මඟින් විශෝධන ක්‍රියාමාර්ග සඳහා පරිවාස දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන සහතික ලත් පරිවාස පාසල්වලට යොමු කරනු ලබන අතර, අවුරුදු 16ට වැඩි ළමුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් අධිකරණය මඟින් බන්ධනාගාරගත කිරීම හෝ තරුණ වරදකරුවන් සඳහා වන පුහුණු පාසලට යොමු කරනු ලබයි. එසේ වුවද, ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි අවුරුදු 18ට අඩු තැනැත්තන්ට බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනය නියම නොකළ යුතු බව සඳහන් කර ඇත.

එබැවින්, මෙම නීතිමය සංකූලතාවන්ට විසඳුමක් ලැබෙන පරිදි ළමයකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම පිණිස ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඊට සමගාමීව තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18 සහ 22 අතර තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම පිණිස තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.