• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්තනගල්ල කර්මාන්තපුරය පිහිටුවීම
- කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර, පෞද්ගලික ආ‍යෝජකයින් විසින් රුපියල් මිලියන 36,500ක් පමණ එම කර්මාන්තපුරවල ආයෝජනය කර ඇත. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 4,517ක් පමණ වැය කර ඇති අතර, ඒවායේ ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන 18,600ක් පමණ වේ.

බස්නාහිර පළාත තුළ කර්මාන්ත ඇරඹීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් 150ක් පමණ සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත්, එම පළාත තුළ පිහිටා ඇති කර්මාන්තපුර 08 තුළ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට නොහැකි වන බව පෙනී ගොස් ඇත. එබැවින්, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකටම අයත් වන පරිදි අලුතින් කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමටත්, එකී කර්මාන්තපුරය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම් කරන ද්‍රව්‍ය, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන, ඇඟළුම් හා ආශ්‍රිත නිෂ්පාදන සහ ඖෂධ හා ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම හා එකලස් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමටත්, ප්‍රතිචක්‍රීකරණය සහ පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා යෝජිත කර්මාන්තපුරයෙන් ඉඩකඩ වෙන් කර දීමටත් සැලසුම් කර ඇත.

ඒ අනුව, අත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් 'පෙතියකන්ද වත්ත' නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී කර්මාන්තපුරය, හරිත කර්මාන්තපුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යතුමා හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ප්‍රතිපත්තියක් වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත පැවරීමට ද තීරණය කරන ලදී.