• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020/21 මහ කන්නයේ හිඟයකින් තොරව පොහොර සැපයීම සඳහා වන කඩිනම් වැඩසටහන
- පසුගිය කාල වකවානුව තුළ පොහොර සහනාධාර ප්‍රතිපත්තිය වරින් වර වෙනස් කිරීමත්, පොහොර ආනයනය කරනු ලබන සමාගම් වෙත නිසි පරිදි මුදල් නොගෙවීමත්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් තොර වූ පොහොර වෙළඳපොළට පැමීණීමත් හේතුවෙන් ගොවීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී ඇත. එබැවින්, එම තත්ත්වය මගහරිමින් 2020/21 මහ කන්නයේ සිට ගොවීන් වෙත පොහොර ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් පරිදි කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

* වී ගොවීන්හට නොමිලේ පොහොර ලබා දීමේ වැඩසටහන තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම සහ පරිසර හිතකාමී පොහොර වී ගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

* 2020/21 මහ කන්නය සඳහා වී ගොවීන්ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 230,000ක් රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් ආනයනය කිරීම.

* වී වගාව හැර අනෙකුත් වගාවන් සඳහා 2020/21 මහ කන්නය වෙනුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 332,000ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඒ සඳහා පොහොර සමාගම් සතුව පවතින්නේ මෙට්‍රික් ටොන් 40,000ක පොහොර ප්‍රමාණයක් පමණක් බවත් සැලකිල්ලට ගෙන, තවදුරටත් අවශ්‍ය මෙට්‍රික් ටොන් 300,000ක පමණ පොහොර ප්‍රමාණයක් ආනයනය කිරීමට එකඟතාව පළ කර ඇති පොහොර සමාගම් වෙත අවසර ලබා දීම.

* සුදුසුකම් ලබන වෙනත් සමාගම් සඳහා ද මෙට්‍රික් ටොන් 5,000ක උපරිමයකට යටත්ව 2020/21 මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීම පිණිස අවසර ලබා දීම.

* වී හැර අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1,500/-ක සහනාධාර මිලකට ඕනෑම ගොවියෙකුට විවෘත වෙළඳපොළෙන් ලබාගැනීමට අවස්ථාව ලබා දීම.

ඒ අනුව, ඉහත සඳහන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.