• Increase font size
  • Default font size
  • Decrease font size

2020-09-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2015 වර්ෂයේදී සිදු කරන ලද 19 වන සංශෝධනය හේතුවෙන් ඇති වී තිබෙන විෂමතාවන් සහ අඩුපාඩු මගහැරවීම සඳහා කෙටිකාලීන පියවරක් වශයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය සඳහා වන කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2020 08 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එකී පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය හා අනනුකූල නොවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ 2/3කට නොඅඩු ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවටත් නීතිපති විසින් ලබා දී ඇති මතය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ‍ගෙන එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

තවද, 2020-08-19 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ පරිදි අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස පහත සඳහන් විශේෂඥ කමිටුව පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

* ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා (සභාපති)

* ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා

* ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා

* ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා

* මහාචාර්ය නසීමා කමුර්දීන් මහත්මිය

* ආචාර්ය ඒ. සර්වේස්වරන් මහතා

* ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ මහතා

* මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න මහතා

* මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා