• Increase font size
  • Default font size
  • Decrease font size

2020-08-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
පහත සඳහන් වාර්තා මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 16(2) වගන්තියේ විධිවිධාන පරිදි නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පවත්වා සති 02ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා විසින් පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ.

ii 2019 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 13 වගන්තියේ විධිවිධාන පරිදි මුදල් වර්ෂය අවසන් වූ පසු මාස 05ක් ගත වීමට පෙර අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත නිකුත් කළ යුතු අතර ඉන් පසුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ.

iii 2020 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව

2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වගන්තියේ විධිවිධාන පරිදි වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සෑම මුදල් වර්ෂයකම ජුනි මස අවසන් දිනය වන විට මුදල් අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත නිකුත් කර ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වේ.

iv ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව - 2019

මුදල් නීති පනතේ 35 වගන්තියේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආර්ථිකයේ තත්ත්වය, ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්ත්වය සහ වසර තුළදී මුදල් මණ්ඩලය විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් ඊළඟ වසර ආරම්භ වී මාස 04ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.