• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කිරීම
- ග්‍රාමීය පාලම් 1,210ක් ඉදි කිරීම සඳහා වන 'ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය' 2013 වර්ෂයේ සිට අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ 2019 ජූලි මාසය වන විට ග්‍රාමීය පාලම් 1,318ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. එම ව්‍යාපෘතියේ II වන අදියර යටතේ තවත් ග්‍රාමීය පාලම් 250ක් සහ ව්‍යාපෘතියේ III වන අදියර යටතේ තවත් ග්‍රාමීය පාලම් 230ක් ඉදි කිරීමට හැකි වන පරිදි එම ව්‍යාපෘතියේ කාලසීමාව 2020 අගෝස්තු 31 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. එසේ වුවද, අදාළ කොන්ත්‍රාත්තු පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක වීම ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති බැවින්, අදියර II සහ අදියර III යටතේ වන ව්‍යාපෘති සඳහා දැනට අත්සන් තබා ඇති කොන්ත්‍රාත් ගිවිසුම්වල කාල සීමාව පිළිවෙළින් 2021 මැයි 10 දක්වා සහ 2021 මාර්තු 05 දින දක්වා දීර්ඝ කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.