• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම
- 2016 ජනවාරි 01 දිනෙන් පසුව රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් සඳහා අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් වී එහි ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසී ඇත. එහෙත් විශ්‍රාමිකයින්ගෙන් බහුතරයක් 2016 ජනවාරි 01 දිනට පෙර රජයේ සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ අයවළුන් වන අතර ඔවුන්ට ද අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස විශ්‍රාමික සංගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, දැනට 2016 ජනවාරි 01 දිනට පසුව විශ්‍රාම ලැබූ රජයේ සේවකයින්ට පමණක් හිමි වී ඇති අග්‍රහාර ප්‍රතිලාභ එම දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයින්ට ද ලබා දීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබා දෙන ලද එකඟතාව සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එසේම, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

* අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සියලු රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට ප්‍රතිලාභ ලබාගැනීමට හැකිවන පරිදි ගුණාත්මකභාවයෙන් ඉහළ සෞඛ්‍ය සේවා පහසුකම් සලසා දීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස රජයේ සියලුම ප්‍රමුඛ රෝහල් තුළ රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සඳහාම වෙන් වූ වාට්ටුවක් පවත්වාගෙන යාම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම.

* රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින් අතර විශ්‍රාම වැටුප් විෂමතාවන් තවදුරටත් පවතින බව නිරීක්ෂණය වන බැවින් එකී විෂමතා නිවැරදි කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිෂන් සභාව වෙතින් ඉල්ලා සිටීම.