• Increase font size
  • Default font size
  • Decrease font size

2020-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා කාලය තුළ විදුලි බිල්පත් ගෙවීම සඳහා විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසීම
- කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි මස දක්වා කාල සීමාවට අදාළ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විදුලිබල හා බලශක්ති ඇමතිතුමා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව 2020 ජුලි 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලදී. එකී කමිටුවේ නිර්දේශ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මඟින් තවදුරටත් අධ්‍යයනය කර විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස එකී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී.

ඒ අනුව, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

i. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවල එක් එක් බිල්පතෙහි වටිනාකම පෙබරවාරි මාසයේ බිල්පතේ වටිනාකමට වඩා වැඩි නම්, පෙබරවාරි මාසයේ බිල්පතට සමාන මුදලක් බැගින් මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස සඳහා අය කිරීම සහ එම බිල්පත් නිරවුල් කිරීම සඳහා මාස 02ක කාලයක් ලබා දීම.

ii. මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසවලට අදාළ බිල්පත් සඳහා දැනටමත් ගෙවීම් සිදු කර ඇති පාරිභෝගිකයින්ට ඉදිරියේදී බිල්පත් නිකුත් කිරීමේදී ඔවුන් විසින් වැඩිපුර ගෙවා ඇති මුදල හිලව් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගැනීම.

iii. බිල්පත් නිරවුල් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවීම.