• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී හැර අනෙකුත් භෝග වගාවන් සඳහා අවශ්‍ය වන රසායනික පොහොර ගොවි ජනතාව වෙත ක්‍රමවත්ව බෙදාහැරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම
- කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය යටතේ ආනයනයන් හා අපනයනයන්වලට බලපා ඇති සීමාකාරී සාධක හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සඳහා ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය මඟින් 'සෞභාග්‍යයේ ගෙවත්ත' සහ හෙක්ටයාර 88,000ක හඳුනාගත් ක්ෂේත්‍ර භෝග 16ක් වගා කිරීම වැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ‍ෙමම තත්ත්වය යටතේ වී නොවන අනෙකුත් භෝග සඳහා අවශ්‍ය රසායනික පොහොර ගොවි ජනතාව වෙත ක්‍රමවත්ව හා හිඟයකින් තොරව ලබා දීම පිණිස පහත සඳහන් පියවරයන්ගෙන් ද සමන්විතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩ පිළිවෙල මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එම කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* 'සෞභාග්‍යයේ ගෙවත්ත' ඇතුළු කුඩා පරිමාණයේ කෘෂි වගාවන් සඳහා කාබනික පොහොර භාවිතය උනන්දු කරවන අතරම අවශ්‍ය වන්නේ නම් පමණක් කිලෝග්‍රෑම් 10ට අඩු ප්‍රමාණයකින් රසායනික පොහොර විවෘත වෙළඳපොළෙන් මිල දී ගැනීමට ඉඩ සලසා දීම.

* වී නොවන අනෙකුත් භෝග සඳහා අනුමත සහනාධාර පොහොර සලාකයෙන් 50%ක් විවෘත වෙළඳපොළෙන් හා ඉතිරි 50% ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ලබා දීම.

* කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන එළවළු, පලතුරු වැනි කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය සහනාධාර රසායනික පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ලබා දීම.

* ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල අවශ්‍ය පොහොර තොග නොමැති අවස්ථාවලදී හෝ ප්‍රමාදයන් සිදු වන බවට පෙනී යන අවස්ථාවලදී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර විසින් නිකුත් කරනු ලබන කුවිතාන්සියක් පදනම් කරගෙන විවෘත වෙළඳපොළෙන් ගොවීන්ට පොහොර ලබාගැනීමට හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම.