• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවදානමට ලක් විය හැකි අංශ සම්බන්ධ ගැටළු විසඳීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලබන සහන ක්‍රියාමාර්ග
- කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ අවදානමට ලක් විය හැකි අංශ සම්බන්ධ ගැටලු විසඳීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ගනු ලැබ ඇති පහත සඳහන් ක්‍රියාමාර්ග විදේශ සබඳතා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.

* 2020 ජුනි මස 16 දින වන විට රටවල් 117ක සිටින ශ්‍රී ලාංකිකයින් 52,401 දෙනෙකු නැවත මෙරටට පැමීණීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

* ජනාධිපති ලේකම් කාර්යාලය හා කොවිඩ් කාර්යසාධක බලකාය සමඟ එක්ව මේ වන විට රටවල් 38ක සිට ශ්‍රී ලාංකිකයින් 9,580කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කර ඇත.

* එසේම තවත් රටවල් 10ක සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා ජුනි මස 24 දින සිට ජූලි මස 07 වන දින දක්වා ගුවන් ගමන් වාර 10ක් සංවිධානය කර ඇත.

* මැද පෙරදිග සහ වෙනත් ස්ථානවල සිටින අවදානමට ලක් විය හැකි කොටස් සඳහා වියළි සලාක, මූලික ඖෂධ, ආරක්ෂිත ආම්පන්න සහ ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා රුපියල් මිලියන 42.6කට අධික මුදලක් ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත ලබා දී ඇත.

* භාණ්ඩ හිඟයක් පවතින සහ වියළි සලාක මිල දී ගැනීමට අපහසුතා පවතින මාලදිවයින, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ කටාර් වෙත වියළි සලාක සහ ඖෂධ අඩංගු රුපියල් මිලියන 15.5ක් වටිනා භාණ්ඩ මලු 5,000ක් යැවීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.

* එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එම රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් අවශ්‍ය වන පරිදි රාජ්‍යතාන්ත්‍රික නියෝජනයන් සිදු කරන අතර, ශ්‍රී ලාංකිකයන් සමඟ අඛණ්ඩව සබඳතා පවත්වාගෙන යනු ලබයි.

* ශ්‍රී ලාංකික දූත මණ්ඩල ක්‍රියාත්මක නොවන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ආසන්නතම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වෙතින් අවශ්‍ය සේවාවන් සලසා දීම පිණිස අවශ්‍ය පියවර ගනු ලැබ ඇත.

* එසේම එම ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආර්ථික බලපෑම අවම කිරීම සහ ආර්ථික පුනර්ජීවනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් නව වෙළඳපොළවල් හඳුනාගැනීමට සහ පවත්නා වෙළඳපොළවල පවතින ඉල්ලුම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවරයන් ගනිමින් පවතී.