• Increase font size
  • Default font size
  • Decrease font size

2020-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන ණය පහසුකම්හි උපරිම ණය සීමාව වැඩි කිරීම සහ කෘෂි අගයදාම සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධකයන් වෙත ගැලපුම් ණය හා ගැලපුම් ප්‍රදාන ලබා දීම
- කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මඟින් ග්‍රාමීය කුඩා පරිමාණ ගොවිජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ ඇත. වසර 6ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන 2023 ජුනි මස 30 දින අවසන් වීමට නියමිත අතර, එහි මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 105ක් වේ. මහවැලි කලාපයන්හි පවුල් 4,000ක් ඇතුළුව දිවයින පුරා පවුල් 57,500ක් ඉලක්ක කර ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය, පෞද්ගලික සහ කෘෂි නිෂ්පාදකයින්ගේ සහභාගිත්වයෙන් (Public Private and Producer Partnership - 4P) අගයදාම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ ව්‍යාපෘති ප්‍රතිලාභීන් සඳහා වූ ගැලපුම් ණය සීමාවෙහි ඉහළ සීමාව රුපියල් 300,000 සිට රුපියල් 500,000 දක්වා වැඩි කිරීමටත්, එම ව්‍යාපෘති ප්‍රවර්ධකයන් සඳහා වෙළඳ පොළ හෝ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගැනීමට අවශ්‍ය උපකරණ හෝ සේවාවන් සපයා ගැනීමට රුපියල් මිලියන 1.8ක උපරිමයකට යටත්ව ගැලපුම් ප්‍රධාන දායකත්වයක් ලබා දීමට හා එම ප්‍රවර්ධකයන් සඳහා යන්ත්‍රෝපකරණ මිල දී ගැනීමට වාර්ෂික පොලී අනුපාතය 10%ක් යටතේ රුපියල් මිලියන 09ක උපරිමයකට යටත්ව ගැලපුම් ණය පහසුකමක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.