• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020 - අග්‍රාමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් විසින් සිය පක්ෂය/අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නිල වාහන හා නිල නිවාස භාවිත කිරීම හා ඒ සම්බන්ධයෙන් රජයට මුදලක් ගෙවීමේ අවශ්‍යතාව
- අතිගරු ජනාධිපතිතුමා විසින් මේ වන විට 08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබේ. කෙසේ වුවද, පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් අමාත්‍යවරුන් විසින් ස්වකීය නිල කටයුතු ඉටු කරන අතර කථානායකවරයා හා විපක්ෂ නායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස එහි නිල කටයුතුවලට සහභාගි විය යුතු වේ. එසේම ඉහත කී තැනැත්තන් එම කාලය තුළ තම පක්ෂය හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සඳහා ද සම්බන්ධ වන බැවින් ස්වකීය නිල වාහන හා නිල නිවාස භාවිත කිරීම වෙනුවෙන් ඔවුන් විසින් රජයට මුදලක් ගෙවීම සුදුසු බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, 2015 මහ මැතිවරණය පැවති අවස්ථාවේදී අනුගමනය කරනු ලැබ ඇති ක්‍රමවේදය පරිදිම ඉහත සඳහන් තනතුරු දරන්නන් විසින් පහත පරිදි කටයුතු කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
* තම පක්ෂය හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සඳහා නිල වාහන භාවිත කරන්නේ නම් එක් වාහනයක් සඳහා රුපියල් 100,000/-ක් බැගින් වූ මාසික ගාස්තුවක් ගෙවීම.
* නිල වාහන වෙනුවෙන් ලබා දෙන ඉන්ධන ප්‍රමාණයට අමතරව අවශ්‍ය වන අතිරේක ඉන්ධන සඳහා වැය වන මුදල ඔවුන් විසින් පෞද්ගලිකව දැරීම.
* තම පක්ෂය හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් යානා හෝ හෙලිකොප්ටර් භාවිත කරන්නේ නම් ඒ සඳහා වන සියලු වියදම් ඔවුන් විසින් පෞද්ගලිකව දැරීම.
* තම පක්ෂය හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් විසින් තම නිල නිවස භාවිත කරන්නේ නම් ඒ සඳහා රුපියල් 100,000/-ක මාසික ගාස්තුවක් ගෙවීම.