• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වශයෙන් නිපදවන කේබල සහ සන්නායක වර්ග ලංකා‍ විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධ ආයතන සඳහා මිලදී ගැනීමේදී දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමුඛතාව ලබා දීම
- මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධ ආයතන සඳහා භාණ්ඩ ආනයනයේ දී ලබා දී ඇති තීරුබදු සහනය හේතුවෙන් දේශීය නිෂ්පාදන සමඟ සැසඳීමේ දී විදේශීය නිෂ්පාදිතයන්ගේ මිල අඩු වීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය හා එයට අනුබද්ධිත ආයතන විදේශීය නිෂ්පාදන වැඩි වශයෙන් මිල දී ගැනීමට නැඹුරු වී ඇති අතර, එය දේශීය කේබල් නිෂ්පාදන කර්මාන්තයට අහිතකර අන්දමින් බලපා ඇත. එම තත්ත්වය යටතේ දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරීත්වයක් තහවුරු කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධිත ආයතන විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන විදුලි කේබල්, සන්නායක, ගැල්වනයිස් කරන ලද යකඩ වැනි භාණ්ඩ හා උපකරණ මිල දී ගැනීම සඳහා සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී, ලංසු ඇගයීමේදී දැනට පවතින දේශීය නිෂ්පාදනයන් සඳහා ලබා දෙනු ලබන 20%ක ප්‍රමුඛතාවට අමතරව, අතිරේක සහනයක් වශයෙන් එවැනි භාණ්ඩ හා උපකරණ ආනයනය කරනු ලබන අවස්ථාවේදී අදාළ වන සියලු බදු ප්‍රමාණයන් අදාළ ආනයනකරුවන් ගෙවිය යුතු සේ සලකා තාක්ෂණික ඇගයීම සිදු කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.