• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ක්‍රීඩා ඇකඩමිය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීම
- කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම පිහිටි අක්කර 125ක පමණ භූමිභාගයක ක්‍රීඩා ඇකඩමියක් සහ අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදි කෙරෙමින් පවතී. 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කරනු ලැබ ඇති පරිදි ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් එම ක්‍රීඩා සංකීර්ණයේ සැලසුම් සංශෝධනය කර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එසේම යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ක්‍රියාවලියට අදාළව සියලු කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති වශයෙන් කටයුතු කළ ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස එම අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.