• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මානව සංවර්ධනය තුළින් දැනුම මත පදනම් වූ ආර්ථිකයක් කරා යොමු කිරීමේ සංවර්ධන උපායමාර්ගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. එකී උපායමාර්ගයට අනුගත වෙමින්, එක්සත් රාජධානියේ සෞඛ්‍ය පර්යේෂණ සඳහා වන ජාතික ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ඒට්‍රියල් ෆයිබ්‍රිලේෂන් (Atrial Fibrillation) කළමනාකරණය' පිළිබඳ ගෝලීය සෞඛ්‍ය කණ්ඩායම් පර්යේෂණය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්ගේ සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ගේ පර්යේෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා පිටිවහලක් සැලසෙනු ඇත. මේ සඳහා බර්මින්හැම් විශ්වවිද්‍යාලය විසින් පූර්ණ මූල්‍ය ආධාර සහ උපදේශන ආධාර වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් 209,000ක මුදලක් පර්යේෂණ ප්‍රදානයක් ලෙස වෙන් කිරීමට යෝජිතය. ඒ අනුව, යෝජිත පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.