• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයට අයත් දේපළ සංවර්ධන ආයතනයක් ස්ථාපිත කිරීම
- අධික වටිනාකමින් යුත් ඇතැම් හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට අදාළ වත්කම්වල අයිතිය මහා භාණ්ඩාගාරය, සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම සහ ලංකා බැංකුව වැනි ආයතන සතුව පවතී. උදාහරණ වශයෙන් ග්‍රෑන්ඩ් හයාට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සහ හිල්ටන් වැනි හෝටල් සහ නෙළුම් කුලුන සාප්පු සංකීර්ණය පෙන්වා දිය හැක.
එවැනි ආයතන තනි ඒකකයක් යටතට පත් කිරීම තුළින් වටිනාකමින් අධික "නිශ්චල දේපළ කළඹක්" (Premium Real - Estate Portfolio) නිර්මාණය කිරීමට යෝජනා වී ඇති අතර එවැනි වත්කම් අන්තර්ගත කිරීම තුළින් තවදුරටත් එම ආයතනය ඉදිරියේදී පුළුල් කිරීමට හැකියාවක් ද පවතින බව පෙනී ගොස් ඇත. විශේෂයෙන්ම එවැනි දේපළ සහ වත්කම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය ආදායම හෝ රජයේ ණය ගැනීම් යොදා ගැනීම ප්‍රශස්ත නොවන බැවින් යෝජිත ආයතනය වැනි ඉහළ වත්කම් සහිත ආයතනයක් හරහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පහසු වනු ඇත. ඒ අනුව, කැන්විල් සමූහ ව්‍යාපාරය (ග්‍රෑන්ඩ් හයාට්), හොටෙල් ඩිවලොපර්ස් පෞද්ගලික සමාගම (හිල්ටන්) සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන ආයතන මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හිමිකාරිත්වය දරනු ලබන එක් සමාගමක් යටතට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.