• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු ආදායම්ලාභීන් සඳහා ආහාර සුරක්ෂිතතාව
- අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා "දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන" යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2020 ජනවාරි මස 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම වැඩසටහන පහත සඳහන් පරිදි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ සම්බන්ධයෙන් වන තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
* ආබාධිත පුද්ගලයින්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන් ඇතුළත්ව ප්‍රතිලාභීන් දස ලක්ෂයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දීම.
* යෝජිත වැඩසටහන යටතේ තේ කොළ, නාඩු සහල්, පිටි (සාමාන්‍ය), පරිප්පු සහ කරවල/හාල්මැස්සන්/දේශීය වශයෙන් නිෂ්පාදිත සැමන් යන ආහාර වර්ගයන් ඇතුළත්ව දැනට පවත්නා වෙළදපොළ වටිනාකම රුපියල් 1,007.00ක් පමණ වන ආහාර ද්‍රව්‍ය තෝරාගනු ලබන ප්‍රතිලාභීන් සඳහා රුපියල් 500.00ක මුදලකට ලබා දීම.
* ලංකා සතොස, සමුපකාර වෙළඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් සම්බන්ධ කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීම.