• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ට නව තාක්ෂණික කොන්ක්‍රීට් පැනල්වලින් සමන්විත ස්ථිර නිවාස ඉදි කිරීම
- ශ්‍රී ලංකාවේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්වලින් පීඩාවට පත් වූ පවුල් සඳහා නව තාක්ෂණික ස්ථිර අඩු වියදම් (එක් නිවසක වියදම ශ්‍රී ලංකා රුපියල් 1,280,000/-ක් බැගින් වන සේ) කොන්ක්‍රීට් පැනල් නිවාස 28,000ක් ඉදිකිරීමටත්, එහි ප්‍රථම අදියර වශයෙන් නිවාස 7,000ක් කැලිකට් උළු සහිත නිවාස වශයෙන් ඉදිකිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මින් පෙර අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, අපේක්ෂිත පරිදි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ආරම්භයේදී නිවාස 1,000ක් ඉදිකිරීම සඳහා ලංකා බැංකුවෙන් කාලීන ණය මුදලක් ලබාගැනීම පිණිස මහා භාණ්ඩාගාරය විසින් අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. ඒ අනුව, එම ණය මුදල භාවිත කරමින් නිවාස 1,000ක් ඉදිකිරීම සඳහා තෝරා ගෙන ඇති කොන්ත්‍රාත්කරු වන YAPKA Development (Pvt.) Ltd. සමඟ වාණිජ ගිවිසුමක් මේ වන විට අත්සන් කර ඇති බවටත්, 2020 පෙබරවාරි මස 21 දින අදාළ ව්‍යාපෘති කටයුතු ආරම්භ කළ බවටත් ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.