• Increase font size
  • Default font size
  • Decrease font size

2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මඟින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීම
- කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් සංවර්ධනය කර ඇති අක්කර 7 1/2ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කොටස් 07ක් එම භාරකාර මණ්ඩලය වෙත ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් දීර්ඝකාලීන බදුකර තුනක් මඟින් ලබා දී ඇති අතර තවත් එක් ඉඩම් කොටසක් බදු පදනම මත ලබාගැනීම සඳහා කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් එම දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. බදු පදනම මත ලබා දී ඇති ඉඩම් සියල්ල මනාව සංවර්ධනය කර ඇති බැවින් සහ එම ඉඩම් කළුතර බෝධි භාරකාර මණ්ඩලයට ලබා දීම පූජා භූමිය සංවර්ධනයට මහඟු පිටිවහලක් වන බැවින් එකී ඉඩම් කොටස් නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව දැනට බදු පදනම මත ලබා දී ඇති එකී ඉඩම් ‍කොටස් එක් නිදහස් දීමනාවක් වශයෙන් කළුතර බෝධි භාරකාර මණ්ඩලයට ලබා දීමටත්, දැනට සංවර්ධනය කර ප්‍රයෝජනයට ගනු ලබන ඉතිරි ඉඩම් කොටස් ඉදිරියේදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් අත්පත් කරගනු ලබන ප්‍රමාණය වන්දි ගෙවීමකින් තොරව ආපසු ලබාගැනීමට යටත්ව, දීර්ඝකාලීන බද්දක් වශයෙන් එම භාරකාර මණ්ඩලයට ලබා දීමටත් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.