• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම
- දීර්ඝ කාලයක් පුරා පවතින ගුරුවරුන් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් පිළිබඳ ගැටලු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා ගුරු සේවය ප්‍රමුඛ අදාළ සියලු සේවාවන් ඒකාබද්ධ කොට වැටුප් හා සේවා ව්‍යවස්ථාවක් සකස් කොට සුදුසු වැටුප් ක්‍රමයක් සකස් කිරීමේ අවශ්‍යතාව 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෙන්වා දී ඇත. ඒ අනුව කටයුතු කිරීම පිණිස මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එළඹී ඇති නමුත්, මේ වන විට ගුරු - විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතාව හේතුවෙන් පැන නැඟී ඇති තත්ත්වය පිළිබඳව අධ්‍යාපන ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.
රාජ්‍ය අංශයේ වැටුප් සම්බන්ධයෙන් අධ්‍යයනය කර පවතින විෂමතා ඉවත් කිරීමට හැකි වන පරිදි නව වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් මෑතකදී ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති අතර, එකී කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මඟින් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව එකී කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ මඟින් ගුරු - විදුහල්පති සේවාවන්හි දැනට පවතින වැටුප් විෂමතාවන් ද ඉවත් කිරීමට පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.