• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සහස්‍ර අභියෝගතා සංස්ථාව (MCC) සංයුක්ත සංවර්ධන ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව
- 2019 දෙසැම්බර් මස 18 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් පරිදි සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජයට නිර්දේශ ලබා දීම පිණිස මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සමාලෝචන කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රාග්ධන සම්පත් හිඟ සහ ණය බරින් තෙරපුණු ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික සංරෝධක දුරලීමේ ආයෝජන උදෙසා අවශ්‍ය මූල්‍ය සම්පත් රටේ විදේශ ණය බර වැඩි නොකරමින් සපයා ගැනීමේ හැකියාව MCC යෝජනාව තුළ ඇතුළත්ව ඇතත් එම වැඩසටහන යටතේ යෝජිත ඇතැම් ව්‍යාපෘතීන් තුළ ශ්‍රී ලංකාවේ ජාතික, සමාජ හා ආර්ථික සුභ සිද්ධියට අගතිකාරී බලපෑම් එල්ල විය හැකි යම් අංග ඇතුළත්ව ඇති බව එකී වාර්තාවේ පෙන්වා දී ඇත. එසේම යෝජිත සංයුක්ත ගිවිසුමෙහි සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමෙහි මෙන්ම ‍ස්ථාපනය කිරීමට යෝජිත සමාගමේ සාංගමික ව්‍යවස්ථා කෙටුම්පතෙහි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට අනුකූල නොවීමට ඉඩ ඇති වගන්ති හා ප්‍රතිපාදන මෙන්ම ජාතික අරමුණුවලට, ස්වෛරීත්වයට හා ජාතික ආරක්ෂාවට අගතිකාරී ලෙස බලපෑ හැකි වෙනත් කොන්දේසි ද ඇතුළත් වී ඇති බව ද වැඩි දුරටත් පෙන්වා දී ඇත. එබැවින් එවැනි අයහපත් අංග සඳහා සුදුසු නිවැරදි කිරීම් හා සුදුසු සංශෝධනයන් සිදු කිරීම අත්‍යවශ්‍ය බවත් ඉන් අනතුරුව අදාළ කොන්දේසි හා ව්‍යාපෘති යෝජනා පිළිබඳව මහජන අදහස් ලබාගැනීමේ අවශ්‍යතාව සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සුදුසු බවත් කමිටුව විසින් පෙන්වා දී ඇත. එම කරුණු ඇතුළත් කමිටුවේ අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් එහි සඳහන් කරුණු, මූලික නිගමන සහ නිර්දේශ සැලකිල්ලට ගන්නා ලදී.