• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මත 30/1 'ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම'
- ඉදිරියේදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයෙහි ප්‍රවේශය සම්බන්ධයෙන් පහත සඳහන් පියවර ගැනීමටත්, එකී පියවරයන් සාක්ෂාත් කරගැනීම පිණිස අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මූලාරම්භයන් සිදු කිරීමටත් විදේශ සබඳතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* 2015 ඔක්තෝබර් මස අංක 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 යන පූර්වගාමී යෝජනා සම්මත අන්තර්ගත කර ගත්තාවූ ද, ඒවා මත පදනම් වූ ද, 'ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය' යන මැයෙන් යුත් 2019 මාර්තු මස අංක 40/1 දරන යෝජනා සම්මතයේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම.

* නිත්‍ය මානව හිමිකම් විධි නියෝග / මණ්ඩල සහ යාන්ත්‍රණ ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීම හා ඔවුන්ගෙන් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්තිවලට අනුකූලව, අවශ්‍ය පරිද්දෙන්, ශක්නුතා වර්ධන හා තාක්ෂණික සහයෝගය ලබා ගැනීම.

* රජයේ ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින්, දැනට පවත්නා යාන්ත්‍රණ යෝග්‍ය පරිද්දෙන් අනුවර්තනය කර ගැනීම ඇතුළු, සියල්ල අන්තර්ගත, දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසර සාමය ළඟා කර ගැනීමට රජය තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත් කිරීම.
මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලාංකික විමර්ශන වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයෙකු යටතේ විමර්ශන කොමිසමක් පත් කිරීම.

* 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ද ඇතුළු ශ්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැලපෙන ආකාරයකින්, නිසි ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසඳී ඇති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂණ ප්‍රගමනය කිරීමෙන් ද, යුක්තිය හා සංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ සිටින අනතුරට භාජනය විය හැකි කොටස්වල ගැටලුවලට විසඳුම් ලබා දීමෙන් ද, ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීමෙන් පැන නැඟෙන ප්‍රතිපත්ති සද්චේතනාවෙන් යුතුව ප්‍රදර්ශනය කිරීම.

* එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය තුළ ඇති ආධ්‍යාශය ප්‍රකාශයට පත් කිරීම.