• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ සේවය අතහැර යාමේ නියෝග ලබා සිටින පොලිස් නිලධාරින් නැවත සේවයේ පිහිටුවීම
- ජනතාව විසින් අපේක්ෂිත සේවාවන් ප්‍රශස්තව ලබා දීම සඳහා පුහුණු ශ්‍රම බලකායක් ශ්‍රී ලංකා පොලීසිය විසින් පවත්වා ගත යුතු වේ. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර එම පුරප්පාඩු සඳහා අලුතින් බඳවාගැනීම් සිදු කර අවශ්‍ය පුහුණුව ලබා දී සේවයේ යෙදවීම සඳහා සැලකිය යුතු කාලයක් සහ විශාල වියදමක් දැරිය යුතු වේ. එබැවින්, දැනට පොලිස් මූලික පුහුණුව ලබා ඇති, එහෙත් මේ වන විට විවිධ හේතුන් මත සේවය අතහැර යාමේ නියෝග ලබා ඇති පළපුරුදු නිලධාරීන් නැවත පොලිස් සේවයට එක් කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම මඟින් කෙටි කාලසීමාවක් තුළ සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත සේවයේ යෙදවිය හැකි බව පෙනී ගොස් ඇත. එබැවින් නැවත සේවයට එක් වීම සඳහා වූ අභියාචනා නියමිත කාලය තුළ ඉදිරිපත් නොකිරීම මත එකී අභියාචනා ප්‍රතික්ෂේප කිරීමට ලක් වූ නිලධාරීන්ගේ අභියාචනා පිළිබඳව විධිමත් හා පාරදෘශ්‍ය ක්‍රියාවලියක් අනුගමනය කරමින් නැවත විමසා බැලීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ පදනම් කරගෙන අදාළ බලධාරින්ගේ අනුමැතිය සහිතව එසේ සේවය අතහැර ගොස් ඇති නිලධාරින් නැවත සේවයේ පිහිටුවීමටත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.