• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇළුමිනියම් පවුඩර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා බෙදා හැරීම
- 2003 වසරේ දී පෞද්ගලික අංශය මඟින් ඇළුමිනියම් පවුඩර් දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමට පෙර මෙරටට අවශ්‍ය ඇළුමිනියම් පවුඩර්, ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කරන ලදී. නමුත්, ඇළුමිනියම් පවුඩර් ආනයනයට පැවති නීතිමය පසුබිම ලිහිල් වීමත් සමඟ පෞද්ගලික අංශය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමකින් තොරව ඇළුමිනියම් පවුඩර් දිගින් දිගටම ආනයනය කරනු ලබන බවට නිරීක්ෂණය වී ඇත. එබැවින්, එම තත්ත්වය වැළැක්වීම සඳහා නීතිමය පසුබිම සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ඇළුමිනියම් පවුඩර් ආනයනය සිදු කර, බලපත්‍රලාභී ගිණිකෙළි නිෂ්පාදකයන්, බලපත්‍රලාභී අලෙවි නියෝජිතයන් සහ ඇළුමිනියම් පවුඩර් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනු ලබන කර්මාන්තවලට පමණක් එය නිකුත් කිරීමට හැකි වන පරිදි ඇලුමිනියම් පවුඩර් ආනයනය කිරීමේ හා බෙදා හැරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට ලබා දීම පිණිස අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.