• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය මඟින් කැණීම් කිරීමෙන් ලබා ගන්නා මිනිරන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය මත පදනම්ව අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන අතර එමඟින් මිනිරන් කැණීම් කටයුතු සිදු කරන කහටගහ පතලෙහි මසකට මෙට්‍රික් ටොන් 65 - 70 අතර ප්‍රමාණයක් මිනිරන් කැණීම් සිදු කර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ මිනිරන් සැපයුම ලෝක වෙළඳපොළේ මිනිරන් අවශ්‍යතාවයෙන් 7%ක් පමණ වේ. එම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළඳපොළෙහි බලපෑමක් ඇති කිරීමට හැකියාවක් නොමැති බැවින් කහටගහ පතල තුළින් කැණීම් කර ලබාගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, කැණීම් කර සපයනු ලබන මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම වෙනුවෙන් පමණක් තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීම සඳහා ආරාධනා කැඳවීමටත්, ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් මඟින් ඉදිරිපත් වන යෝජනා ඇගයීමට ලක් කර සුදුසු ආයෝජකයෙකු තෝරා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.