• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හංගේරියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය අතර අධ්‍යාපනික හා විද්‍යාත්මක දැනුම හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහනක් පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීම
- 'සෞභාග්‍යයේ දැක්ම' රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව මානව සම්පත් සංවර්ධනය හරහා දැනුම පදනම් වූ ආර්ථිකයක් කරා යොමු කිරීමේ සංවර්ධන උපායමාර්ගික වැඩසටහනට අනුව, මෙරට සිසුන්හට විදේශීය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගෙන හංගේරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. යෝජිත ගිවිසුම මඟින් හංගේරියානු රජය විසින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව අවස්ථාවන් විස්සක් (20) හිමි වන අතර තුන් අවුරුදු කාලයක් තුළදී ශිෂ්‍යත්ව අවස්ථාවන් හැටක් (60) ශ්‍රී ලංකාවට හිමි වනු ඇත. වාර්ෂිකව හංගේරියානු සිසුන් පස්දෙනෙකුට (05) මෙරට අධ්‍යාපන හෝ පර්යේෂණ අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
ඒ අනුව, හංගේරියානු රජයේ මානව ධාරිතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය අතර අධ්‍යාපනික හා විද්‍යාත්මක දැනුම හුවමාරු ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත්, එම අවබෝධතා ගිවිසුමට අනුව ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමටත් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.