• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019/20 මහ කන්නයේ වී මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන
2019/20 මහ කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී මෙට්‍රික් ටොන් මිලියන 03ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රතිපත්තියක් ලෙස රජය විසින් සහල් ආනයනය නොකිරීම හේතුවෙන් සහල් මිල තරමක් ඉහළ ගොස් ඇති නමුත් එමඟින් ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වී ඇත. එම තත්ත්වය විනිමය අනුපාතය ස්ථාවර වීමට මෙන්ම පොලී අනුපාතය අඩු වීමට ද බලපෑමක් සිදු කර ඇත. ඒ අනුව වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ සහ සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ සහල් මෝල් හිමියන් පෙළඹවීමේ අරමුණින් 2019/20 මහ කන්නයේ අතිරික්ත වී තොග මිල දී ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් පියවර නොපමාව ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් තීරණය කරන ලදී.
* ප්‍රමිතියෙන් යුත් (තෙතමනය පිළිබඳ නිර්ණායකයට යටත්ව) වී කිලෝවක් සඳහා රුපියල් 50/-ක අවම සහතික මිලක් නියම කිරීම.
* තෙතමනය සහිත වී කිලෝවක අවම සහතික මිල රුපියල් 45/-ක් වශයෙන් නියම කිරීම.
* රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් සහ වී අලෙවි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කිරීම.
* ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රෝහල් ඇතුළු රජයේ ආයතනවල සහල් අවශ්‍යතා සඳහා සෘජුවම එම ආයතන මඟින් වී මිල දී ගැනීම.
* මිල දී ගනු ලබන වී තොග ගබඩා කිරීම සඳහා ආහාර කොමසාරිස්වරයා සතු සියලුම ගබඩා, වී අලෙවි මණ්ඩලය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් වෙත වහාම පවරා දීම.
* වී තොග ප්‍රවාහන කටයුතු සඳහා රජයේ ආයතන සතු ලොරි සහ ට්‍රක් රථ යොදා ගැනීම.
* සහතික මිල යටතේ වී මිල දී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු වී මිල දී ගනු ලබන්නන්ට 8%ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 100ක පමණ ඔඩපන ණය රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා නිකුත් කිරීම.
* ප්‍රධාන සහල් නිෂ්පාදන දිස්ත්‍රික්ක වන පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, වවුනියාව, අම්පාර, මඩකලපුව, මොනරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙහෙයවීමේ වගකීම රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වෙත පැවරීම.
* ඉහත වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කිරීම.