• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා රජය විසින් ලබා දෙන ණය සහන පැකේජය
- තම ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා අලුතින් ණය ලබා ගැනීමට අපහසු වීම, ලබා ගත් ණය අඛණ්ඩව ගෙවීමට නොහැකි වීම නිසා අක්‍රියව පවතින ණය සඳහා විවිධ ගාස්තු හා අතිරේක පොළී ගෙවීමට සිදු වීම, ඇපයට තබන ලද තම දේපළ බැංකු විසින් වෙන්දේසි කිරීම වැනි හේතූන් නිසා රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බලවත් ගැටලුවලට මුහුණ දී ඇත.
පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇති සංකීර්ණ බදු ප්‍රතිපත්ති හා බැංකු නීති රීති නිසා මෙලෙස කඩා වැටීමට ලක් වී ඇති රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම ව්‍යාපාර ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා යෝජනා මාලාවක් රජයේ ප්‍රතිපත්ති රාමුව වන 'සෞභාග්‍යයේ දැක්ම' තුළින් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, අතිගරු ජනාධිපතිතුමා විසින් මේ වන විටත් ගෙවීමට නොහැකි වී ඇති ණය අය කර ගැනීම සඳහා ගනු ලබන නීතිමය පියවර අත්හිටුවීමට සියලුම බැංකු වෙත නියෝග කර තිබේ.
එහි දෙවන පියවර ලෙස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් බලපත්‍රලාභී බැංකු වෙතින් ලබාගෙන 2019-12-31 දිනට සක්‍රිය ව පවතින කාලීන ණයවල මුල් මුදල ගෙවීම සඳහා ණය ගැනුම්කරු විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මත 2020-12-31 දින දක්වා සහන කාලයක් ලබා දීමට හා සක්‍රිය ණයවල වාරිකයේ වටිනාකම වැඩි නොකර සහන කාල සීමාවෙන් පසු ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමටත්, 2019-12-31 දිනට අක්‍රිය තත්ත්වයේ පවතින ණය අය කර ගැනීම සඳහා වන සියලුම නීතිමය කටයුතු අත්හිටුවීමට හා මුළු දඩ පොලිය කපා හැරීමටත්, ණය ගෙවීමට නොහැකි වීම නිසා කඩා වැටී ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා සහන කොන්දේසිවලට යටත් ව අලුතින් කාරක ප්‍රාග්ධන ණය මුදලක් ලබා දීමටත් හැකි වන විධිවිධාන සහිතව "ණය සහන පැකේජයක්" ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.