• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම
- කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමීපව උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මඟින් එහි ආවරණ ප්‍රදේශයේ මෙන්ම ඒ අවට පිහිටි යොමු කිරීමේ රෝහල් සඳහා ද සේවාවන් සපයනු ලබයි. තවද, එම රෝහල මඟින් ගුවන්තොටුපොළට පැමිණෙන සංක්‍රමණික මඟීන් සහ නාවික මඟීන් සඳහා මෙන්ම සංචාරකයින් සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. මෙම රෝහලේ ඩෙංගු කළමනාකරණ මධ්‍යස්ථානය, ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණය සඳහා හොඳම මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත. මෙම රෝහලේ පවතින පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එය රේඛීය අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. ඒ අනුව දැනට බස්නාහිර පළාතේ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය යටතේ පවතින එම රෝහල මධ්‍යම රජය වෙත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.