• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික බුද්ධි පනත
- ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකථනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර එකී ආයතන විසින් පුරෝකථනය කළ තර්ජන හා අනාවරණය කර ගත් තොරතුරු මත වළක්වා ගත් ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් සහ ජාතික ගැටළුවලදී ලබා දී ඇති නිර්දේශ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වී ඇත.
බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිත ව සිදු වන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමා වී ඇති බව පෙනී ගොස් ඇත.
එබැවින්, ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලුම බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය; අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.