• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැඹුරු මුහුදේ වැලි කැණීම මඟින් ගල්කිස්ස සිට අඟුලාන දක්වා සහ කළුතර කැලිඩෝ වෙරළ තීරය වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතිය
- කොල්ලුපිටිය සහ මොරටුව අතර පිහිටි අඟුලාන වෙරළ තීරය ඉතා අධික ජනගහනයක් සහිත වෙරළ තීරයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශය අධික ලෙස ඛාදනයට ලක් වීම හේතුවෙන් බොහෝ ස්ථානවල ආරක්ෂිත ගල්වැටි යෙදීම නිසා වෙරළ තීරය අහිමි වී ඇත. මේ වන විට කළුතර කළු ගං මුවදොර ආසන්නයේ වූ කිලෝමීටර් 02ක් පමණ වූ වැලි වැටිය සම්පූර්ණයෙන් ඛාදනය වී ඇති අතර සුප්‍රසිද්ධ කැලිඩෝ වෙරළ තීරය ද ඉතා දරුණු ලෙස වෙරළ ඛාදනයට ලක්ව ඇත. එබැවින්, අඟුලාන සිට ගල්කිස්ස දක්වා කිලෝමීටර් 4ක් ද, කළුතර කැලිඩෝ වෙරළ තීරයෙහි කිලෝමීටර් 2ක් ද ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගැඹුරු මුහුදේ වැලි කැණීම් කර වෙරළ පෝෂණය කිරීම් ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කර ඇත. ඒ අනුව, මෙම වෙරළ ප්‍රතිපෝෂණ ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Rohde Nielsen A/S වෙත යුරෝ මිලියන 4.40ක මුදලකට පිරිනැමීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.